පාසල් සිසුවෙක් අපයෝජනය කළ චීවරධාරියා වසර 21ක් හිරගෙට..!

බාල වයස්කාර පාසල් සිසුවෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්කළ බවට මහාධිකරණ හමුවේ වෙන් වෙන් වශයෙන් අධි චෝදනා තුනක් ලබා සිටි චීවරධාරියෙකු එකී අධි චෝදනා තුනටම වරදකරු බවට තීන්දු කළ අනුරාධපුර අංක දෙක මහාධිකරණ විනිසුරු විරාජ් රණතුංග මහතා විත්තිකාර චීවරධාරියාට වසර 21ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් ඊයේ (14දා) නියම කළේය.

එක් අධි චෝදනාවකට වසර හත බැගින් මෙලෙස වසර 21ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කෙරිණි. මීට අමතරව අධි චෝදනා තුනට වෙන් වශයෙන් රුපියල් 15,000 බැගින් දඩ මුදල් ගෙවන ලෙසද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා, එකී දඩ මුදල් නොගෙවන්නේ නම් විත්තිකරුට තවත් මාස 18ක සිරදඬුවමක්ද නියම කළේය.


එමෙන්ම අධිචෝදනා තුනට වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂය බැගින් වූ වන්දි මුදල් පැමිණිලිකාර වින්දිත බාලවයස්කාර (අවු.16) පාසල් සිසුවාට ගෙවන ලෙස විත්තිකාර චීවරධාරියාට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා, එකී වන්දි මුදල් ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකරු තවත් මාස හයක සිරදඬුවමකටද යටත් කළේය.

මෙලෙස සිරදඬුවම් නියම වූයේ බදුල්ලේ ධම්මකිත්ති (අවු.51) නමැති චීවරධාරියෙකුටය.

මෙම නඩුවේ ලඝු නොවන මූලික විභාගය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති අතර, නීතිපතිවරයා විසින් විත්තිකරුට අධිචෝදනා බාර දීමෙන් අනතුරුව එය වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර අංක දෙක මහාධිකරණයට යොමු කර තිබිණි.

ඒ අනුව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 ආ (2) ආ වගන්තිය ප්‍රකාරව නීතිපතිවරවයා විසින් වෙන් වෙන් වශයෙන් අධි චෝදනා තුනක් මෙම විත්තිකරුට එරෙහිව අනුරාධපුර අංක දෙක මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ අතර, විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් නගා ඇති අධිචෝදනා තුනම සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය සමත්ව ඇති බව නඩු තීන්දුවේ සඳහන්ය.


2016 වසරේ දෙසැම්බර් මස 01 වැනිදා සිට 2017 වසරේ පෙබරවාරි මස 06 වැනිදා දක්වා අතර කාලය තුළ අනුරාධපුර මහාධිකරණ බලප්‍රදේශයට අයත් අනුරාධපුර, ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේදී විත්තිකාර චීවරධාරියා විසින් අදාළ බාලවයස්කාර පාසල් සිසුවා බරපතළ ලෙස අපයෝජනය කර ඇතැයි අධිකරණයේදී අනාවරණය වී තිබිණි.


අනුරාධපුරය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එච්.ඒ. කරුණාතිලක මහතා සහ අනුරාධපුරය මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂිකා ධම්මිකා ද සිල්වා මහත්මිය ඇතුළු හත්දෙනෙකු මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබිණි.පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ සුපුන් රණසිංහ මහතා පෙනී සිටි අතර, අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර තිබිණි.